Friday, October 31, 2014

“කිම් ගේ කථාව”

ඔන්න ඉතිං වෙනදා වගේම මම දවාලේ කම්මැලිකම යන්නත් එක්ක  අනිත අයගේ බ්ලොග්ස් වගේ ම මගේ බ්ලොග් එකත් කියවල අලුත් දෙයක් ලියන්න හොය හොය හිටියා...

 මෙන්න බොලේ ගේට් එක පැත්තෙන් සද්දයක් එනව,
“ ගෙදර කව්ද.. ගෙදර කව්ද.. ” කියලා.
    මං හිතුවා අදත් ඉතිං බ්ලොග් එක ලියල ඉවරයි තමා කියලා,කියන්න බෑනේ  මොනා කරන්න වෙයිද දන්නේ නෑනේ,බලපුහම මගේ 1 පන්තියේ හිටපු යාළුවෙක් දැන් අහන්න එපා ඔච්චර ඉක්මන ට අදුර ගත්තෙ කොහොමද කියල.. ඒක මගේ හැටි, ඒක ගැන වෙනමම පස්සෙ කියන්නම්කො.....
      අපි දෙන්නා ටිකක් වෙලා කතා කරකර ඉන්නකොට එයා මගෙ ලැප් එකේ මම බාගෙට ලියමින් හිටපු බ්ලොග් එක දැකල ඇහුවා මේ බ්ලොග් එකේ  මගේ  කතාව ලියන්න බැයිද කියල...
 වෙලාවෙ හැටියට මාත් ඉතිං ලියන්න දෙයක් නැතුවනේ හිටියෙ,මාත් ඉතිං හා කිව්ව.....
  ඊට පස්සෙ එයා කියන කතාව මාත් හොට අහගෙන හිටියා (පැය 4ක් විතර),ඒකෙ සතුට සිනහව දුක කදුල හැමදේ පිරිලා තිබ්බ. දැන් අහන්න එපා ඔච්චර වෙලා අහගෙන හිටියෙ කොහොමද කියල.... එකත් මට පුළුවන්,මේ  හින්දම මම කරදරෙත් වැටිලා තියනවා, ඒක ගැනත් වෙනමම පස්සෙ කියන්නම්කො.....
 කොහොම හරි මේ කතාව එක දිගට නම් ලියන්න බැරිවෙයි කොටස් කරලා තමා ලියන්නෙ,එයගෙ නම කියනවට එයා කැමති උනේ නෑ ඒ හින්ද මම එයාව,

“කිම්”

              කියලා නම් කරනව. ඉතිං ඔයාලට ලබන සතියෙ ඉදන් “කිම් ගේ කථාව” කියවන්න මම රාධනා කරනව. “කිම් ගේ කථාව”  කියවල කමෙන්ටුවක් එහෙම දායි කියලා මම බලාපොරොත්තු වෙනව.... 


 මීලග සතියේ,
                කිම් මෙලොව එලිය දකී.
                කිම් ඉපදුන ගමන් අනිත් බබාල වගේ  අඬන්නෙ නෑ.......

එහෙනම් මොනාද කරන්නෙ ලබන සතියට.......    






Thursday, October 30, 2014

හදිස්සිය - Urgency...

උදේ ඉර එළිය තීරු තීරු ගස්වල කොළ අතු අස්සෙන් බේරිල ඇවිත් කොබෝනීල ගස්වල කොළවලට වැටිල ඒවගේ ඉතුරු වෙච්ච පිනිත් එක්ක දිලිසෙනව. පිනිවලින් පෙඟිච්ච පිහාටු පුම්බගෙන ඒව ගස ගස කහ පාට හොටවල් උල් කර කර ඒ ගස්වල උඩිනුත් යටිනුත් එල්ලිල දෙමළිච්චෝ කෑ ගහනව. කවුද කියල අඳුරන්න බැරි එක එක ජාතියෙ කුරුල්ලො එක එක සද්දවලින් ගස් අස්සවල ඉඳන් කෑ ගහනව. කුරුල්ලන්ගෙ සද්දවලින් ඉතිරෙන්න තරමට කන් පිරෙනව.
දවස් දෙක තුනකට ලංකාවට ආපු මොරි සචෝ ආපහු යන්න ලෑස්තිවෙලා කලින්ම ඇඳගෙන ගෙයින් එළියට බැහැල ඇස් දෙක පියාගෙන කුරුල්ලන්ගෙ සද්දෙ අහනව. මොරි කියන්නෙ එයාගෙ නම. සචෝ කියන්නෙ සමාගමක අයිතිකාරයා කියන එකයි. එයා ජපානෙ ලොකු මිනින්දෝරු සමාගමක අයිතිකාරයා. ලෝකෙ මුල්ම රොබෝ මිනින්දෝරුවො වැඩ කරන රථය හැදුවෙත් ඒගොල්ලො.
මං ගෙයින් එළියට බහිනකොටත් එයා සිගරට් එකක් උර උර ඇස් දෙක පියාගෙන කුරුල්ලන්ගෙ සද්දෙ අහනව. මං ”සා, ඉකිමෂෝ” ”එහෙනම් යමු” කියනකොට එයත් ”හයි හයි” කියාගෙන හයියෙන් හයියෙන් ඇවිත් කාර් එකේ ඉස්සරහ දොර ඇරල නැගල වාඩිවෙලා සිගරට් අළු බඳුන ඇරල ඒකට සිගරට් එක දාල දොර වහගෙන සීට් බෙල්ට් එකත් දාගත්ත. මමත් ඩර ඇරයිවිං සීට් එකට නැගල දොර වහගෙන කාර් එක ස්ටාට් කරල යන්න පිටත්වුණා කටුනායකට.
”මෙහෙ එළවනකොට සීට් බෙල්ට් දාන්න ඕනෑ නැද්ද?” මොරි සචෝ මගෙන් අහනව. ‘නෑ. දැන් නං නීතියකුත් ඇවිත් තියෙනව. ඒත් ඉතිං කවුරුවත් දාන්නෙ නෑ. ඇඟ හිරවෙනවට අකමැති හින්දද මන්ද. මටත් දැන් පුරුද්දට ගිහිං දාන්න හිතෙන්නෙ නෑ” මං කියනව.
”ඇත්තද, ජපානෙ නං හැමෝම දානව. සීට් බෙල්ට් නොදා යන්න තහනම්. හයිවේවල යනකොට නං බස්වල ඉන්න මිනිස්සුත් දාන්න ඕන. ආරක්ෂාවට හොඳයිනෙ දාගෙන යන එක. මොකද අනතුරක් වුණත් තමන්ට වෙන හානිය චුට්ටක් හරි අඩු වෙනවනෙ. මෙහෙ තියෙන්නෙත් ඔක්කොම ජපන් වාහනනෙ. ඒවායේ සීට් බෙල්ට් තියෙනවනෙ. නිකං තියෙන එකේ දාගෙන ගියාම මොකද වෙන්නෙ. තදවෙන ගතිය නං කොහොමත් තියෙනවනෙ. හැමෝම ඔය ඉණට පටි හෙම බැඳගෙන ඉන්නෙ. මං දැක්ක හුඟ වෙලාවට මිනිස්සු බස්වල තද වෙලා යනව. මං හිතන්නෙ ලංකාවේ මිනිස්සු කිසිදෙයක් ලොකුවට ගණන් ගන්නෙ නෑ. නීතිය විතරක් නෙමෙයි ජීවිතේට තියෙන ආශාව වුණත් එහෙම වෙන්නැති. ඒකත් එක අතකින් හොඳයි බාග වෙලාවට.” සචෝ මගෙ දිහා බල බල හිනාවෙවී කියනව. මං වම් පැත්තට සිග්නල් දාල කාර් එකේ වේගය අඩු කරල හෙමිහිට අයින් කරල සීට් බෙල්ට් එක දාගත්ත. අපි ආයෙත් යන්න පිටත් වුණා.
මට ඉස්සරහින් වෑන් එකක් යනව. වාහන තදබදේ හන්ද ඒකත් අපේ කාර් එකත් අතර පරතරය අඩි දෙකක් විතර තියෙන්නැති. ”ජපානෙ නං එළවන වේගයෙන් පහළොවක් අඩුකරලා ඉතිරි පර ප මාණයට වැඩි මීටර් ගාණක් ඉස්සරහ වාහනේ ඉඳල අඩු ගාණේ පරතරය තියාගන්න ඕනෑ. වේගය 20 නම් 10 කවත් පරතරයක් තිබිය යුතුයි. නීතිය එහෙමයි. කවුරුත් ඒක කඩන්නෙ නෑ. මොකද ඒ නීතිය තියෙන්නෙ හැමෝගෙම හොඳටනෙ. ඉස්සරහ එක්කෙනා එකපාරට බ්රේක් ගැහුවොත් හැප්පෙන්න පුළුවන්නෙ.” සචෝ කියනව.
”මෙහෙ කවුරුත් නීතිය පිළිපදින්නෙ නෑ සචෝ ඔන්න බලන්න මං මීටර 10 ක් පස්සෙන් හිටියම වෙන දේ” කියල මං ඉස්සරහ වෑන් එකට වැඩිය මීටර 10 ක් දුරින් පස්සෙන් යන්න ගත්ත. එතකොටම තීරළව වීල් එකක් මාව ඉස්සර කරගෙන ඇවිත් මැද ඉතුරු වෙච්ච මීටර 10 ට වාහනය දාගත්ත. මං එයාට යන්න ඇරල තව මීටර 10 ක් ඈතින් හිටිය. එතකොටම කාර් එකක් ඇවිත් මැදට මූණ දාගත්ත. මං එයාටත් යන්න ඉඩ ඇරල තව මීටර 10 ක් පස්සෙන් හිටිය. එතකොට මෝටර් සයිකල්කාරයො තුන්දෙනෙක් නටාගෙන වගේ ඇවිත් මැදින් ඉඳන් යන්න ගත්ත. ”මෙහෙම ගියොත් යන්න වෙන්නෙ නෑ.” මං ආයෙම අඟල් ගාණේ පරතරය හිටින්න යන්න ගත්ත. සචෝ හිනා වෙනව. උදේ හන්ද වාහන තදබදේ දිගටම. අපි ගාටනව වගේ හිරවෙලා යනව. එහෙම යන එක ඉවසන්න බැරුව පාරෙ වම් පැත්තෙ තාර කට්ටෙ පන්නල පස් ගොඩැලි දිගේ තඩි බස් වම් පැත්තෙන් ඉස්සර කරගෙන යනව. ලොරි ඉස්සර කරගෙන යනව. ¥විලි කන්දරාව අහසට නගිනව. පාර අයිනෙ ඉන්න මිනිස්සු මූණු ලේන්සුවලින් වහගෙන අහකට පනිනව. මෝටර් බයිසිකල් තීරව් වීල් වම් පැත්තෙන් ඉස්සර කරගෙන පේමන්ට් දිගේ මිනිස්සු බේර බේර යනව.
සචෝගේ ඇස් උඩ ගිහිං. ”හරිම භයානකයි නෙ. මෙහෙ ඕන පැත්තකින් ඉස්සර කරන්න පුළුවන්ද? ජපානෙ නම් දකුණු පැත්තෙන් විතරයි. කවුරුවත් වම් පැත්තෙන් ඉස්සර කරන්නෙ නෑ.” එයා කියනව. ”මෙහෙත් බෑ. ඒත් ඉතිං මිනිස්සු එහෙම කරනව” මං කියනව.
පිටිපස්සෙ අඟල් දෙකක් ළඟින් තියෙන තඩි බස් එක හෝන් ගහනව. සචෝ සං බයවෙලා. ”ඇයි එයා හෝන් ගහන්නෙ?” මගෙන් අහනව. ”ඒ හෝල්ට් එකේ ඉන්න මිනිස්සුන්ට” මං කියනව. ”ජපානෙ නම් කවුරුවත් හෝන් ගහන්නෙ නෑ. හෝන් එක පාවිච්චි කරන්නෙ කාගෙ අතින් හරි මාර්ග නීති කඩන පුරුද්දක් වුණොත් ඒකට අපරමගෙසාදය පළ කරන්න විතරයි. හැමෝම නීතිය අකුරට රකින හන්ද හෝන් සද්ද කවදාවත් දැනෙන්නෙ නෑ. අන්න අර බස් එක සිග්නල් ලයිට් එකේ රතු වැටිල තියෙද්දිත් යනව. හරි භයානකයිනෙ. අයියෝ ඇයි මේ මිනිස්සුන්ට මෙච්චර හදිස්සිය.” සචෝ බය වෙලා කියනව.
පිටිපස්සෙන් පොලිස් සයිරන් නළා සද්දයක් ඇහෙනව. මං කාර් එක තාර කට්ටෙන් පන්නල කානුව හරියට වෙන්න අයින් කරගන්නව. එතකොටම විදුලි වේගෙන් දකුණු පැත්තෙන් නිල් පාට පොලිස් ජීප් එකක් අපිව පහු කරගෙන යනව. ජීප් එක ඇතුළෙන් එළියට දාපු රතු ඉර තියෙන සුදුපාට ග්ලවුස් දාපු අත් තුන හතරක් ”වාහන අයින් කරගන්න අයින් කරගන්න” කියල සංඥා කරගෙන යනව. ඊළඟට ලොකු කාර් එකක් විදුලි වේගෙන් යනව. ඊළඟට හතර පැත්තට තුවක්කු එල්ල කරගෙන හමුදාවේ අය රෞද්රක මූණෙන් වාඩි වෙලා ඉන්න ඇරපු ජිප් එකක් විදුලි වේගෙන් යනව. ඊළඟට තවත් වාහන වගයක් ඒ වේගෙන්ම ගියාට පස්සෙ අපි ආපහු ගමන පටන් ගත්ත.
”ඒ කවුද? මොකද එහෙම හයියෙන් යන්නෙ?” සචෝ අහනව. ”ඒ ඇමැති කෙනෙක් මගේ හිතෙ” මං කියනව. ”ඇත්තද? ජපානෙ නං ඇමැතිගොල්ලො වැඩිපුර යන්නෙ කෝච්චිවල. පාරෙ ගියත් ඉතිං සාමාන්යව විදියට තමා වෙනසක් නෑ.” සචෝ කියනව.
මහා ¥විලි වලාවලින් පාර වැහෙනව. ලොකු බැකෝ, දොඹකර එහා මෙහා යනව. ”ලංකාවෙ පළමුවැනි හයිවේ එක හදනව මාතරට. ඉස්සෙල්ල ගාල්ලට. එච්චර දිග නෑ මගේ හිතේ. කිලෝ මීටර් අනූවක් විතර. මේ අවුරුද්ද අන්තිමට අරීවි.” මං එබිල ජනේලෙන් බලන ගමන් කියනව.
”ඇත්තද? කොච්චර දෙයක්ද? ජපානෙ පළමුවැනි හයිවේ එක හැදුවේ මීට අවුරුදු පනහකට කලින්. නගෝයාවලට. කිලෝ මීටර හාරසිය ගාණක් ඒක. ඒ කියන්නෙ අවුරුදු සීයක් පරක්කුයි නේද?” සචෝ මගෙ මූණ දිහා බලල දුකෙන් වගේ කියනව.
දැන් නම් පාරෙ වාහන අඩුයි. මං වේගය වැඩි කරල පුරුද්දට හෝන් ගහල ඉස්සරහ වාහනෙට ඉස්සර කරනව. ඊළඟ ලොරිය කොට කොටා යනව. මං ආයෙත් වේගය වැඩි කරල ඒකටත් ඉස්සර කරල යනව. සචෝ පුංචි ඇස් ලොකු කරගෙන කාර් එකේ වහලේ හයි කරල තියෙන හැන්ඞ්ල් එකේ වම් අතින් එල්ලිලා ඉන්නව.
”ඇයි හයියෙන් යන්නෙ. අපට හදිස්සියක් නෑනේ. ඉස්සරහ යන වාහනේට ඉස්සර කරාට වැඩක් නෑනේ. ඒක ඉස්සරහින් තව එකක් යනවමයි. ඒකට ඉස්සර කළාට ඒක ඉස්සරහිනුත් තව එකක් යනව” සචෝ සන්සුන්ව කියනව. මට ලැජ්ජ හිතුණ. වාහනේ වේගය අඩු කරල හෙමීට යන්න ගත්ත.
ටික දුරක් යද්දි පොලිස් මෝටර් බයිසිකලයක් ඉස්සරහින් ඈත ඉඳන් මෙහාට එනව ලයිටුත් පත්තු කරගෙන. ඒකෙ පිටිපස්සෙ ඉන්න සුදු හෙල්මට් දාපු පොලිස් එක්කෙනා රතු ඉරි තියෙන සුදු ග්ලවුස් එකක් දකුණු අතට දාගෙන අත උස්ස උස්සා පාරෙන් අයින් වෙන්න කියනව. අපි ඉන්නෙ පාරෙ අනික් පැත්තෙ. ඒ ගොල්ලො දකුණු පැත්තෙ ඉඳන් ඉස්සරහට එනව. ඉතිං අපි අයින් වෙන්නෙ මොකටද? ආයුධ හරි පුපුරණ දෙයක් ගෙනියනව වෙන්නැති කියල හිතන මං ආයෙමත් තාර කට්ටෙ අයිනටම කරල හිමින් යන්න ගත්ත. සුදුපාට මෝටර් බයිසිකලය පස්සෙන් නිල්පාට පොලිස් ජීප් එකක් මහ දවල් ලයිට් ගහගෙන හයියෙන් එනව. මෙන්න ඊළඟට ජයරත්න මිනී ගෙනියන කළු පාට විශාල කාර් එකක් ලයිට් ගහගෙන හයියෙන් එනව. ඊළඟට කළු පාට පැජරෝ එකක් සුදු කොඩියක් ගහගෙන පිඹගෙන එනව. ඊළඟට සුදු කොඩි ගහපු කාර් පේළියක්.
සචෝ බයවෙලා බලන් ඉන්නව. ”ඒ කවුද ගියේ?” එයා අහනව. ”නෑ. ඒ මැරිච්ච කෙනෙක්. මිනිය ගමේ අරන් යනව මයෙ හිතේ” මං කියනව. ”ඇත්තද? ජපානෙ නං ඇම්බියුලන්ස් යනකොට ඉඩ දෙනව. ලෙඩෙක් ගෙනියන හන්ද. ඒත් මැරිච්ච අය ගෙනියනකොට ඉඩ ඉල්ලන්නෙ නෑ. ඇරත් මැරුණම යන්නෙ සාමාන්ය අය යනවටත් වඩා හෙමින්. මෙහෙ සාමාන්ය අයටත් වඩා හයියෙන් මැරිච්ච අය යනවද?” එයා පුදුම වෙලා අහනව. ”නෑ... නෑ... එයා ලොක්කෙක්ගෙ කවුරු හරි වෙන්නැති” මං කියනව.
අන්තිමට අපි කටුනායකට ආව. බැස්සට පස්සෙ මොරි සචෝගෙ මූණෙ ගොඩබිමට ආපු නැවියකුගෙ වගේ මහා සැනසීමක් තිබුණ. අන්තිමට වෙන් වෙද්දි සචෝ මගෙ පිටට අත තියල හිනාවෙලා මෙහෙම කිව්ව.
”දැනටමත් කොහොමත් අවුරුදු සීයක් පරක්කුයිනෙ. ඒ හන්ද කලබල වෙන්නෙ නැතිව හෙමිහිට යන්න. කලබල වුණොත් තව පරක්කු වෙයි.”
මං කොන්ද තුන් හතර පාරක් ඉහළට පහළට නමල ”සමාවෙන්න. මෙච්චර කල් කළා වගේ ඉස්සරහටත් අපිට උදව් කරන්න. සයොනරා” කියල කිව්වා.
ආපහු ගෙදර එද්දි මට මතක් වුණා අජාන් බරසයොහ්මවංසෝ හාමුදුරුවෝ, කිට් නා හං කියන වියට්නාම් හාමුදුරුවෝ කිව්වයි කියල කියපු කියමනක්. ”අපට වැඩි කාලයක් නෑ ඒ හන්ද අපි යන්න ඕනෑ හෙමින්.”
උපුටා ගැනීම - (පැණි වළලු - http://staff.sjp.ac.lk/ganganath/blog)

වැව්තලේ..

වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ , 
වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දිදි
හදපානේ,
වැලපෙන්න බෑ මට තව ඉතින්...

ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්

මං දෙසත් බලා
යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ 
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබදී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින්නේ නෑ මියෙන තුරා, 
හිත ඇතිකමක හැටී

මෝදු වී ඉදී තනියට තරු රැසක් හිදී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ, පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා තැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ඇතී ලැදිකම ඔබට ඇතී
නවතින්නෑ මියන තුරා , හිත ඇති කමක හැටී.... 

වැව්තලේ..
පෑදි දිය මත ඇදී...
ඉරි වාගේ , වියැකෙන්නේ නෑ මේ සිත මගේ...
මැදියමේ..
තනිකමට දුක් දි දි....
හදපානේ,වැලපෙන්න බෑ මට තව ඉතින්....
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුබ තමයි
දැන ගනනුමැන හිත ඇති නම්....

Monday, October 27, 2014

පාළුව දෙවනත් කරලා....

පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උල ලේනෝ උල ලේනෝ

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

පද– රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය හා ගායනය- විශාරද ගුණදාස කපුගේ

දුර ඈත කවදා හෝ මේ ගීතය ඇසුණා මට මතක ය. ඒ පාළු රාත්‍රියක ගුවන්විදුලියෙනි. ගීතයක ගැඹුර, අරුත වටහාගත හැකි වයසක එකල මම නොසිටියෙමි. එහෙත් පාළු හුදෙකලා බවකින් මගේ මනස වෙලී ගියා මට මතකය. ඒ තනුව හා ගායනය නිසා මිස අරුත නිසා නොවේ. "උලලේනෝ" යන යෙදුම කපුගේ සතු නාසික්‍ය හඬ ඔස්සේ ඇද පැද ගයන අයුරු අනුකරණය කරමින් මම මේ ගීතය රසවින්දෙමි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නික/පොන්නිලව මිශ්‍ර පාසලේ ගුරු නිවාසය මට තාමත් මතක ය. මගේ පියා හා මව නවාතැන්ගෙන සිටි ඒ ගුරු නිවාසය පිටුපස විශාල කැලයකි. මැදියම් රෑ ඒ කැළෑව මැදින් මතුවී එන උලලේනා ගේ හඬ මට තාමත් මතක ය. මා බියගන්වන, ඒ විලාපය රසයක් බවට පත් කරගනිමින් මම ටිකින් ටික මේ ගීතයට සමීප වීමි. එහෙත් මේ ගීතයට මූලික වූ අනුභූතිය පිළිබඳ ව මට අසන්නට ලැබෙන්නේ ඊට බොහෝ කලකට පසු ව ය.

ශ්‍රී ලංකාවේ පළමු තරුණ නැඟිටීම ලෙස සැලකෙන්නේ එකදාස් නමසිය හැත්තෑඑකේඅප්‍රේල් කැරැල්ලයි. අප්‍රේල් පස්වැනි දා ඇරැඹි ඒ කැරැල්ල සති කීපයක් යන විට අඩපණ වී ගොස් කැරලිකරුවෝ කැළෑ වැදුණා. 

එසේ සියල්ල අහිමිව පරාජිතව වනගත වී සිටින මොහොතක කැරලිකරුවකුට මුළු රාත්‍රිය පුරා ඇසෙන්නේ උලලේනාගේ හඬයි. (ඒ කැරලිකරුවා මෙහි රචකයා දැයි මම නොදනිමි) විප්ලවයේ මළගම මෙ හඬත් සමඟ ඔහු අත්විඳියි. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් පසුකලෙක මේ ගීතය සඳහා යොදා ගන්නේ මේ අනුභූතියයි. එහෙත් මේ අත්දැකීමෙන් පරිබාහිර ව වුවද මේ නිර්මාණයෙන් යම් රසයක් අත්විඳිය හැකි ය. එහෙත් මෙම අත්දැකීම ඔස්සේ සියල්ලට ම වඩා හොඳින් මේ නිර්මාණය රසවිඳිය හැකි ය.

වනාන්තරය පාළු ය. ඒ පාළුව දෙවනත් වන්නේ උලලේනාගේ හඩිනි. මේ කැරලිකරුවාට ඊයේ මුණගැසුණු සහෝදර කැරලිකරුවන් අද ළඟ නැත. ඔහුට ඔවුන් සිහිවෙයි. සියලු දෙනාට ම එළඹී ඇත්තේ නපුරු කලදසාවකි. දරන්නට බැරි තනිකමක බර මේ මොහොතේ හිතට දැනෙයි.

"පාළුව දෙවනත් කරලා
නාඬන් උලලේනෝ
කාටත් නපුරු දා
තනිකම් ඇතිවෙනවා
උලලේනෝ..."


කැරලිකරුවෝ කීපදෙනෙක් වනාන්තරයේ තනිවී සිටිති. ඔවුන්ට මේ මොහොතේ උරුමව ඇත්තේ සීත සුළඟත් හිරිකඩත් පමණි. ඔවුන් බලාපොරොත්තු වූ ලෝකය සුණුවිසුණු වී ගොස් ය. උලලේනාට නම් පියාඹන්නට තටු ඇත. ඒත් වනාන්තරයේ තනිවූ මේ කැරලිකාර යෞවනයන්ට ඉතිරි වී ඇත්තේ ලී දඬු කපා අටවා ගත් කුඩා පැලක් පමණි. ඔවුන්ට වඩා නිදහසක් උලලේනාට ද ඇත.


රන්බණ්ඩා සෙනෙවිරත්න, කපුගේ

"සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උලලේනෝ..."


විප්ලවය පිළිබඳ බලාපොරොත්තු ඉහිරුණු කිරි කළයකට සමාන ය. යළි ඒ කිරි කළයට එකතු කළ නොහැකි ය. දැන් හිත හදාගත යුතුය. උලලේනා ද අඬාවැටෙන්නේ දුකකට විය යුතු ය. හඬා වැලපීමෙන් පලක් නැති බව උලලේනා ද ඉගෙන ගත යුතුය. උලලේනාට ද ආත්ම ධෛර්යය දිය යුතු ය. ශෝකය දුක ඉදිරියේ විලාප දීමෙන් පලක් නොමැති බව උලලේනාට ද උගන්වන්නට තරම් ඔහු තුළ ආත්ම ධෛර්යය ඉතිරි ව තිබේ.

"ඉහිරුණු කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මම මේ
කවිය කියන්නේ
උලලේනෝ...."


එසේත් නැත්නම් උලලේනා වියෝ දුක කාට හෝ සන්නිවේදනය කරනවා විය යුතුය. එහෙත් මේ කිසිවකින් පලක් නැත. සංසාරයේ හැටි උලලේනා ද අවබෝධ කරගත යුතුය. ඊයේ තමා ළඟ සිටි මිත්‍රයන් වෙඩි උණ්ඩයකට ජීවිතය දන් දී තිබේ. සංසාරයේ දුක උලලේනාට වඩා හොඳින් මේ කැරලිකරුවා අවබෝධ කරගෙන සිටී. දේශපාලන විමුක්තියෙන් පවතින බව ඔහු ද පසක් කර ගනී.

"සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
උලලේනෝ..."


මේ ගීයේ අර්ථ ගාම්භීර්ය වඩාත් හොඳින් දක්නට ලැබෙන්නේ මේ අවසාන පද කීපයෙනි.

ජීවිතයේ පරාජයන්ට, එසේම වියෝ විරහ වේදනාවන්ට ගොදුරු වූ ඕනෑ ම පුද්ගලයකුට ගැඹුරු ජීවන යථාර්ථයක් උකහාගැනීමේ හැකියාව මේ ගීතයේ පවතී. පාළු ශෝකී රසය අතරින් භාවයන් පමණක් නොව බුද්ධිය ද අවදි කරවීමේ හැකියාව මේ නිර්මාණයේ පවතී.

රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ බොහෝ ගී නිර්මාණයන්හි අපූර්වත්වයක් සැඟවී පවතී. එසේම අසම්මත භාෂාවක් මෙන්ම දෘෂ්ටියක් ද ඒ තුළ දැකිය හැකි ය. "ළඳුනේ", "පබලු නඟේ" ආදී නිර්මාණ පමණක් ම ඒ සඳහා නිදසුන් ය. ඔහු ලියූ අල්ප ගීත සංඛ්‍යාව ඔහුට ගීත රචකයකු ලෙස තම මුද්‍රාව තබන්නට ඉවහල් වන්නේ එබැවිනි.

ගුණදාස කපුගේ අමරණීය කලාකරුවකු වන්නේ ගායකයකු සංගීතඥයකු මානව හිතවාදියකු නිසාම නොවේ. ගයන්නට පදමාලාවක් තෝරාගැනීමේදී ඔහු තුළ සියුම් ඉවක් පැවතිණි. එසේම එම පදමාලාවට සුදුසුම සංගීතය ඔහු අතින් බොහෝවිට නිර්මාණය විය. නොමැති නම් වෙනකකු ලවා නිර්මාණය කරගත්තේ ය.

පාළු වනාන්තරයක් මතට ළා හඳ එළියක් පතිත වී තිබේ. වනගැබෙන් එක්වර ම මතුව එන්නේ උලලේනාගේ හඬයි. එය අවට කඳුගැටයක හැපී දෝංකාර දෙයි. වනයේ හුදෙකලා වූ කැරලිකරුවකු ගේ පමණක් නොව ජීවිතයේ කටුක දුක ද සැප ද වළඳන මිනිසකු ගේ හදවත එයින් තිගැස්සෙයි.

තමා අත්විඳි දුක් වේදනා, විරහ වේදනා සියල්ල එක පෙළට සිහිපත් වෙයි. මේ සංසාර ගමන නවතන්නට හැකිනම් මේ සියලු දුක්වේදනා වලින් අත්මිදිය හැකි බව එවිට කෙනෙකුට පසක් වෙයි. එහෙත් සත්‍යවශයෙන් ම උලලේනා ගේ හඬ මෙතරම් අමිහිරි හා භයානක බව ඌ නොදනියි. ඌ මේ හඬගාන්නේ උගේ පෙම්වතියටයි. මේ මංගල ඇරයුම අපේ සිත් මෙසේ සසල කරවන්නේ ඇයි?

ඒ අරුම පුදුම ස්වභාවධර්මයේ න්‍යාය රන්බණ්ඩා සෙනෙවිරත්න වස්තු කරගන්නේ ඇයි? එය මේ තරම් හැඟීම්බරව කපුගේ ගැයුවේ ඇයි? උලලේනෝ, කියාපන් මේ සුන්දර මිනිසුන් දෙදෙනා අපෙන් ඈත් කළේ ඇයි?

(-සිළුමිණ වෙබ් අඩවියෙන් කළ උපුටනයකි.)

Wednesday, October 15, 2014

  මගේ නංගීගේ නම නංගී ය. මට වඩා බාලය. නංගී ස්ත්‍රීයකි.
තාත්තා ගේ පඩිය භාගයක් වියදම් වන්නේ නංගීටය. ඇගේ හිසට ෂැම්පු ද,
හිස් කබලට තෙල්ද, අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුනේ හොඳ වෙලාවටය. බැරි වෙලාවත් හැකරැල්ලෙකුගේ මෙන් ඇයට කකුල් තිබුනා නම් තාත්තාට යන්න වෙන්නේ හොම්බෙන්ය.
නංගීගේ මුහුනට එක ක්රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි. අතට, කකුලට, බඩට, කටට, පිටට ආදී සකලවිද සර්වාංගයේ සියලු අවයවයන් සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත.
දිනක් මුහුනේ උලනා ක්රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවු-නාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවටය.
නංගීට එක එක තැනට එක එක ක්‍රීම් තිබුනද මට ඇත්තේ එකම එක ක්‍රීම් වර්ගයකි. ඒ ෂේවින් ක්‍රීය. මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගී ගේ බේබි ක්රීම් ගා රැවුල කපා ගන්නෙමු. නංගී ගේ බේබි ක්රීම් එක පසුපසද මාර කතාවක් ඇත. බේබි ක්රීම් ගාන්නේ බේබිලාය පුත්තලම් බූරුවන් හත් අට දෙනෙ-කුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලාහුය. අද කාලේ බේබිලා කොතරම් ලොකු දැයි මට අවසානයේදී කල්පනා වී සිහිමුර්ජාවක් ද ඇති විය.
අපි කැරට් කෑවාට නංගී කැරට් බොයි. මුං ඇට මුහුනේ ගායි. මී කිරි, දෙහි අලිගැට පේර යනාදී ඕනෑම දෙයක් ඇය මුහුනේ උලයි.
කිටියා වඩාත්ම කැමති නංගී ඇගේ මුහුනේ මී කිරි ගාන-වාටය. එදාට ඇගේ මුහුන සෝදන්නේ කිටියාය.
එසේ වුවද තාත්තා දුක් මහන්සියෙන් හරි හම්බකර අපට කන්න ගේන හැම හත්තිලව්වක්ම නංගී මුහුනේ ගායි. දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුදු එහි පිපිඤ්ඤා තිබුනේ නැත."කෝ අම්මේ පිපිඤ්ඤා" නංගී ගෙන් ඉල්ල ගන්න.... කාරනාව තේරුනේ එවිටය. බත් එක බෙදාගත් පසු දෙහි, රතුළුණු, අමු මිරිස්, උම්බලකඩ, ඇති මිශ්‍රනයෙන් ටිකක් පිඟානට දමාගෙන නංගි ගේ මුහුනේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිඟානට දමා ගත යුතුය. නංගී දිනපතා සැලුනයට යයි. කලාතුරකින් පාසල් යයි.
සැලුනයට ගොස් මුහුන ස්ට්රේට් කරයි. අතේ පයේ මයිල් ස්මයිල් වනතුරු ෆර්ම් කරයි.
කොන්ඩය බිලීව් කරයි. තොල් රීකන්ඩිශන් කරයි. නංගී ගේ මුහුනේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය. සැලුනයේ අක්කා නංගීගේ මුහුනට පොටි දමයි.
අනතුරුව හැටේ වැලිකඩ-සායියෙන් කපා එකසිය විස්සේ වැලිකඩදාසියෙන් ඔප දමයි.
නංගීව කසාද බැන්ද-වීමට අවශ්‍ය දිනක පුවත්-පත්වල පළ කිරීමට සඳහා අවශ්‍ය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේටින් කරගෙන සිටිමි.
"
රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි. ගොබ්බ මෝඩ බයාදු විලිබයකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතෙකු අසරණ වූ දෙමාපියන් සොයයි. වැන්දඹු වූවාට කම් නැත. විහිළුවට නොලියන්න, මෙය ජීවිතය සම්භන්ධ බරපතල ගැටලුවකි.
මීට අයියා....